නව වසරේ ප්‍රථම සංචාරය... First tour in New Year...



ඉතිං කාලෙකට පස්සේ, ඒ කියන්නේ අවුරුදු හතරකට විතර පස්සේ තමයි ඔබ හමුවට එන්නේ. රාජකාරී බහුලත්වය හින්දම වෙනද වගේ සංචාරයට වගේම බ්ලොග්කරණයට ගන්න කාලය ගොඩක් අඩුයි. ඒත් පුළුවන් විදියට මේ සඳහා කාලය යොදවනවා.

ලැබුවා වූ 2019 අවුරුද්දේ හා පුරා කියලා මුලින්ම සංචාරය සඳහා තෝරාගත්තේ ශ්‍රී පාදස්ථානය. පහුගිය අවුරුද්දෙදී වගේම මේ අවුරුද්දෙත් හයවෙනි පාරට සිරිපා කරුණා කරන්න තීරණය කළා. හැබැයි ඉතිං තනිවම. පහුගිය අවුරුද්දේ වගේ මෙවරත් පලාබද්දල මාර්ගය ඔස්සේ සිරිපා කරුණා කොට නල්ලතන්නියෙන් බහින්න තීරණය කළත්, සවස 5:30 න් පසුව රත්නපුර සිට පලාබද්දල දක්වා ගමන් කිරීමට බස් රථ නොමැති කමින් අවසානයේ නල්ලතන්නිය මාර්ගය ඔස්සේ කරුණා කිරීමට තීරණය කළෙමි.

රාත්‍රී 8 ට පමණ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට පැමිණි මා වහාම මාර්ග අංක 18 (හැටන් පර්යන්තය) වෙත පිවිසුණේ හැකි ඉක්මණින් ආසනයක් ලබාගැනීමටයි. රාත්‍රී 8:30 ට තලවාකැලේ බලා ගමන්ගන්නා ලංකා ගමනාගමන මණ්ඩලයේ වැලිසර ඩිපෝවට අයත් බසය තිබුණු බැවින් හනිකට නැග ආසනගත වුණෙමි. තවද, මෙම බස් රථයේ කලින් ආසන වෙන්කරවාගත හැකිය.

රාත්‍රී 8:30 ට හැටන් හරහා තලවකැලේ බලා ගමන්ගන්නා
වැලිසර ඩිපෝවට අයත් බස් රථය
(මෙය දිනපතා ධාවනය වේ)

මාර්ග අංක 18 (හැටන් - කොළඹ) යනු ලංගම රාජධානියකි. මන්දයත්, එම මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථ ප්‍රමාණය 10 කටත් වඩා අඩුය. කොළඹ සිට පරණ අවිස්සාවේල්ල මාර්ගය ඔස්සේ කඩුවෙල, හංවැල්ල, අවිස්සාවේල්ල, කරවනැල්ල, යටියන්තොට, කිතුල්ගල, ගිනිගත්හේන, වටවල, හැටන් දක්වා දිවෙන මාර්ගයේ කෙදිනකවත් සෙනගෙහි අඩුවක් නම් නැත. ඒ තරමටම හැටන් - කොළඹ ධාවනය වන බොහෝ බස්වල කට කපලා සෙනගය. හැටන් දක්වා අමතරව, තලවාකැලේ, ඩයගම මෙන්ම රාත්‍රී කාලයේ නුවරඑළිය දක්වාද බස් රථ ධාවනය වෙනවා. තවද, කොළඹ සිට නුවරඑළිය දක්වා ගමන් කළ හැකි පහසුම මාර්ගය වන්නේද මෙම මාර්ගයයි.

නියම්ත වේලාවටම කොළඹින් ගමන් ඇරඹුණු අතර, වේගවත් ධාවනය ඔස්සේ රාත්‍රී 10:20 වන විට දෙහිඕවිට නගරයට ආසන්නව ඇති පෙට්ටි කඩයේ නැවැත්වූයේ තේ පානය සඳහාය. එම ස්ථානය බොහෝ ප්‍රසිද්ධ රාත්‍රී බස් රථ සඳහාය. මමද බිත්තර ආප්පයකින් සහ ප්ලේන් ටී කෝප්පයකින් සප්පායම් වූයේ රාත්‍රී ආහාරය ලෙසිනි.

බිත්තර ආප්ප සහ ප්ලේන් ටී යනු මෙම පෙට්ටි කඩයේ ඇති ප්‍රසිද්ධම ආහාරයයි

මිනිත්තු 15 ක කෙටි විවේකයකින් අනතුරුව නැවත බසය සිය ගමන ආරම්භ කළේ කඳු, වංගු තරණය සඳහාය. තද නින්දේ සිටි මා නැවත අවදිවූයේ ගිනිගත්හේන නගරයේදීය. පැය හතරක ගමනකින් අනතුරුව මා හැටන් දුම්රිය ස්ථානය අසලින් බසින විට මධ්‍යම රාත්‍රිය පසුවී විනාඩි 30 ක් ගෙවුණු තැනය. පසුව මා හනිකට හැටන් දුම්රිය ස්ථානය වෙත දිවගියේ නල්ලතන්නිය දක්වා ධාවනය වන බසය අල්ලාගැනීමටය.

මාර්ග අංක 725 (හැටන් - මහනුවර) ඔස්සේ ධාවනය වන මෙහි  අතිරේක ගමන් වාරයක් ලෙස
හැටන් - නල්ලතන්නිය දක්වා ධාවනය කෙරේ.

ශ්‍රී ලංකා දුම්රිය සේවය හා ලංකා ගමනාගමන මණ්ඩලය එක්ව සිරිපා සාමය වෙනුවෙන් විශේෂ සේවා ක්‍රියාක්මක කරනු ලබයි. කොළඹ කොටුව, බදුල්ල, මහනුවර සිට හැටන් දුම්රිය ස්ථානයට පැමිණෙන සියලුම දුම්රිය වේලාවන් තුළදී  නල්ලතන්නිය දක්වා විශේෂ බස් රථ ක්‍රියාත්මක වේ. මා පැමිණි වේලාවත් සමඟම බසයේ ගමනාරම්භය සිදුවන්නේ රාත්‍රී තැපැල් දුම්රිය පැමිණීමත් සමඟය. පෙරදින කොළඹ කොටුවෙන් රාත්‍රී 8 ට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය ස්ථානයට ළඟා වන්නේ අළුයම  1:30 ට  පමණය. නමුත්, පැය  භාගයක් පමණ දුම්රිය ප්‍රමාද වන බැව් දුම්රිය ස්ථානාධිපතිතුමා පැවසූ  අතර, මා දැඩි චකිතයකින් පසුවූයේ ඉර සේවය දැකබලා ගැනීමට නොහැකි වේදෝ යන සැකයයි. නමුත්, ලැබුණු අවස්ථාවෙන් දුරකථනය ආරෝපණය කරගැනීමට හැකිවිය.

දික්ඔය, මස්කෙළිය සහ නල්ලතන්නිය දක්වා ගමන්ගන්නා මගීන් සුව නින්දේ 

මිනිත්තු 30 ක ප්‍රමාදයකින් අනතුරුව බදුල්ල බලා ධාවනය වන
රාත්‍රී තැපැල් දුම්රිය හැටන් දුම්රිය ස්ථානය වෙත ළඟා වෙමින් 


බසය සිය ගමන ආරම්භ කළේ  අළුයම  2:20 ට පමණය. හැටන් සිට නල්ලතන්නියට කිලෝමීටර් 45 ක  පමණ දුරක් ඇති අතර, සාමාන්‍යයෙන් පැය එකහමාරක පමණ කාලයක් ගතවේ. නමුත්, වාසනාවට මෙන් පැයක් ඇතුළත බසය නල්ලතන්නියට පැමිණියේ එතෙක් මාගේ සිත තුළ පැවැති චකිතය යම්තාක් දුරකට හෝ මගහරිමිනි.

නල්ලතන්නිය (අළුයම 3:20)

බසයෙන් බැසීමෙන් අනතුරුව පෙර අත්දැකීම් සහ පුහුණුවෙන් ලැබූ අත්දැකීම් කැටිකොට ආරම්භයේ සිටම වේගවත් ගමනක නිරතවූයේ කෙසේ හෝ ඉර සේවය දැකබලා ගැනීමේ අදිටනිනි. මෙම වේලාව තුළ වැඩි වශයෙන් සංචාරය කරන්නේ විදේශිකයන්ය. ඔවුන් පෙරදින රාත්‍රියේ නල්ලතන්නියට පැමිණ එහි ඇති තානායමක ලැගුම් ගෙන පසුදින අළුයම 1 - 2 අතර කාලය තුළ සිරිපා කරුණාව ආරම්භ කරනු ලබන අතරම, උදෑසන 5 - 5:30 වන විට උඩ මළුවට ළඟාවේ. මමද එම කාලය තුළ බොහෝ විදේශිකයින් අභිබවා ඉදිරියට ගමන් කළෙමි.

මකර තොරණ (අළුයම 3:36)

අළුයම 3:53

සීතලට තාවකාලික විසඳුමක් (අළුයම 4:06)

ඉඳිකටුපාන (අළුයම 4:41)

මහගිරිදඹයේ ඇරඹුම (අළුයම 4:42)

විදේශික යුවලක් විසින් බල්ලෙකු සුරතල් කරමින් (අළුයම  4:50)

ඒ අනුව අඛණ්ඩ ගමනකින් අනතුරුව උදෑසන 5 වන විට නල්ලතන්නිය මාර්ගයේ හමුවන අවසන් කඩපෙළට පෙර හමුවන කඩයෙන් තාවකාලිකව ගිමන් හැරියේ ඊස්ට් නොහොත් තෙල් රොටියක රස බැලීමේ අරමුණින් මෙන්ම උඩ  මළුවට ඇත්තේ තවත් සුළු දුරක් නිසාවෙනි. එහිදී මා කඩයේ මුදලාලි සමඟ කතා කළේ මේ දිනවල ඉර උදාවන්නේ කීයටද කියාය. එවිට ඔහු උදෑසන 6:10 - 6:20 අතර කාලය තුළ ඉර උදාව සිදුවන බව පැවසුවේය. රොටිය රස විඳ  ඔහුට ස්තූති කොට නැවතත් සිරිපා කරුණාවේ අවසන් අදියරය ඇරඹුවෙමි.

සිරිපා ගමන් මගේ හමුවන කඩවල ඇති ප්‍රධානතම ආහාරය

ඒ අනුව පැයයි මිනිත්තු පනස්පහක කාලයකින් උඩමළුව වෙත පිවිසීමට හැකි වූ අතර, එම කාලය තුළදී ඇමෙරිකානු යුවලක් සමඟ කතාබහ කළෙමි. ඒ වන විටත් ඉර සේවය නැරඹීම සඳහා උඩමළුව සැදැහැවතුන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබුණි.

උඩමළුව වෙත පිවිසෙමින් (උදෑසන 5:10)

සිරිපතුල නමස්කාර කොට සයවරක් ඝණ්ඨාරය නාද කොට ඉර සේවය නැරඹීම සඳහා සුදුසු ස්ථානයක් මා හට සහ මා සමඟ මිතුරු වූ ඇමරිකානු යුවල හට සොයා ගත්තෙමි. 


බොහෝ දෙනා ඇසිපිය නොහෙලා බලා සිටිමින් (උදෑසන 5:48)

උදෑසන 5:40

උදෑසන 6:00

උදෑසන 6:11 වනවිට ඉර උදාව සිදුවිය

සෙනඟ අස්සෙන් මා 

උදෑසන 6:19

උදෑසන 6:24

උදෑසන 6:26

උදෑසන 6:29

සුන්දරත්වය සේයාවට නගමින් 

සිරිපා කරුණාව අතරතුර මිතුරු වුණු  ඇමරිකානු යුවළ

ඒ අනුව උදෑසන 6:40 ට පමණ ආපසු නල්ලතන්නිය දෙසට බැසීම ආරම්භ කළ අතර, මාගේ අරමුණ වූයේ උදෑසන 8 හැටන් බසයෙන් හැටන් වෙත ගොස් උඩරට මැණිකේ දුම්රියෙන් ආපසු අගනුවර බලා පැමිණීමයි.


නැවතත් බැසීම අරඹමින් (උදෑසන 6:40)

මාඋස්සාකැලේ ජලාශය අවට ප්‍රදේශය (උදෑසන 6:46)

ආපසු බසින අතරතුරදී මා දැකගත් සුවිශේෂීම සිද්ධිය වූයේ තරුණයින් සිව් දෙනෙකු ස්වෙච්ජාවෙන් සිරිපා මාර්ගය දෙපස මෙන්ම අවට ඇති කැලි කසළ ඉවත් කරන ලද අන්දමයි. තම උපන් දේශයේ, ස්වභාව ධර්මයේ පැවැත්ම වෙනුවෙන් කැපකිරීම වෙනුවෙන් මමද මොවුන්ගේ කර්තව්‍යයට සුළු වශයෙන් හෝ දායක වීම පිළිබඳව සතුටු වෙමි. රටට අවශ්‍ය වන්නේ මොවුන් වැනි තරුණයන්ය.


ස්වෙච්ජාවෙන්ම සිය ස්වභාවධර්මයා වෙනුවෙන්

සිරිපා මග ඔස්සේ (උදෑසන 7:11)

සීත ගඟුල (උදෑසන 7:22)
මෙම ස්ථානයේදී මදක් නැවතී මුහුණ කට සෝදා නැවත ගමන් ඇරඹීය

ජපන් සාම චෛත්‍යය (උදෑසන 7:33)

ආපසු නල්ලතන්නියට (උදෑසන 8:03)

ආපසු හැටන් බලා (උදෑසන 8:07)

මස්කෙළිය (උදෑසන 8:56)

උදෑසන 10 වන විට හැටන් දුම්රිය ස්ථානයට පැමිණි අතර, උදෑසන 5:45 ට බදුල්ලෙන් පිටත්වන අංක. 1016 දරණ උඩරට මැණිකේ දුම්රිය හැටන් දුම්රිය ස්ථානයට ළඟාවීමට නියමිතව ඇත්තේ උදෑසන 10:30 ටය. නමුත්, මිනිත්තු 37 ක ප්‍රමාදයක් සහිතව උඩරට මැණිකේ දුම්රිය  දුම්රිය ස්ථානයට ළඟාවූයේ උදෑසන 11 පසුවී මිනිත්තු 7 ක් ගෙවී ගිය තැනය.

මිනිත්තු 37 ක ප්‍රමාදයකින් හැටන් වෙත ළඟා වූ උඩරට මැණිකේ

වාසනාවකට මෙන් මා හට වටවලදී ආසනයක් ලැබුණු හෙයින් ගමනාන්තය දක්වාම වාදී වී පැමිණියෙමි. (වෙනදා දෙවන පන්තියේ ප්‍රවේශපත්‍රයක් මිලදීගෙන ගමන් කරන මා මෙදා සැරේ සකසුරුවම් පන්ත්යේ ප්‍රවේශ පත්‍රයක් මිලදීගෙන ගමන් කළෙමි)


උඩරට මැණිකෙට පොඩි මැණිකේ හමුවීම (උදෑසන 11:23)
(වටවල දුම්රිය ස්ථානයේදී)

ආදරය, සුන්දරත්වය, නිදහස

ඉතා ලාභදායි ගමන් ක්‍රමයක් ලෙස ලංකාවේ දුම්රිය ලොව පුරා ප්‍රසිද්ධය
(Budget Travel)

අවසනදී මිනිත්තු 55 ක ප්‍රමාදයක් සහිතව ගමනාන්තය කරා

මෙලෙස නව වසරේ මුල්ම සංචාරය විසිහතර පැයක් ගෙවී යාමට මත්තෙන් අවසන් කිරීමට හැකිවිය.

තරයේ මතක තබාගන්න...

අභිමානවත් ජාතියක් වන අප, අපේ උරුමය, සභ්‍යත්වය, පරිසරය රැක ගැනීමත් අනාගත පරපුර වෙනුවෙන් රැක ගැනීමත් ඔබ සතු පරම යුතුකමකි.

කැමරාව :- Nokia 6.1 https://www.nokia.com/phones/en_int/nokia-6
Facebook මගින් :- https://www.facebook.com/yashmaln
YouTube වීඩියෝව :- https://www.youtube.com/watch?v=P1P7IV4hVFg&t=66s
YouTube චැනලය Subscribe කිරීමට :- https://www.youtube.com/channel/UCjpo0ycbycgvhwFahWrvYNw

Comments